ලස්සන නිරෝගී කෙස් කළඹක රහස

ජනවාරි 2012 @ ශ්‍රී ලංකා Popular Post [Avg 23.14 Daily] 4.5
[තරුණ Beauty වියුණු] vasana.pathirana on Google+ 

නිරෝගී කෙස් කළඹ කාන්තාවගේ රූප සෝභාව වැඩි කරන වැදගත්ම අංගයක්. කාන්තාවන් සතු පංච කල්‍යාණයෙන් කේශ කල්‍යාණය හෙවත් හිසකෙස් වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.

ලස්සන කෙස් කළඹක් සතු වීම බාහිර පෙනුම, පෞරුෂය හොඳින් පවත්වාගෙන යාමට උපකාරී වන බව නොරහසක්. නීරෝගී, ලස්සන කෙස් කළඹක් ඇති කර ගැනීමට, තිබෙන කෙස් කළඹ නිරෝගීව පවත්වාගෙන යාමට ආයුර්වේද ප්‍රතිකාරවලින් ලැබෙන්නේ මහඟු සේවයක්.

නිරෝගී ලස්සන කෙස් කළඹක් හිමි කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ආයුර්වේද වෛද්‍යාචාරිණී චමරී වෛද්‍යරත්න මහත්මිය දැක්වූ අදහස් අද ‘සුවමඟ’ තුළින්.

අපගේ ශරීරයේ උත්තම අංගය ලෙස සැලකෙන්නේ හිසයි. ස්නායු පද්ධතිය ආරම්භ වීම, මොළය පිහිටා තිබීම වැනි කරුණු, හිස අප ශරීරයේ උත්තම අංගය බවට පත්වීමට හේතු වී තිබෙනවා. එනිසා හිසට හොඳ පෝෂණයක්, සත්කාරයක් අවශ්‍යයි.

එම සත්කාරය හිස කෙස්වලට අනිවාර්යෙන්ම බලපෑමක් ඇති කරනවා. හිසකෙස් මනාව වැඩීමට පෝෂ්‍යදායී ආහාර මෙන්ම බාහිර සත්කාරත් අවශ්‍යයි. අපගේ හිස හිස්හොරිවලින්, උකුණු කරදරවලින්, උඳුගොව්වන් කෑමෙන් තොර විය යුතුයි.

එමෙන් ම පීනස, ලලාට කෝඨ ප්‍රදාහය වැනි හිසට බලපාන රෝගවලින් වැළකී සිටීමට උත්සාහ ගත යුතුයි. තම කුස තුළ දරුවකු පිළිසිඳ ගත් විට මව දරුවාගේ පෝෂණය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඒ; මවගේ පෝෂණය කුස තුළ සිටින දරුවාට සෘජුවම බලපාන නිසයි.

කුස තුළ සිටින දරුවාගේ හිසකෙස් හොඳින් වර්ධනය වීම සඳහා කැල්සියම් බහුල ආහාර, මුකුණුවැන්න, ගොටුකොළ වැනි පලා වර්ග, විශේෂයෙන් ම නෙල්ලි ආදිය ආහාරයට ගැනීම සුදුසුයි.

වැඩිහිටියන් වූ පසුව හිසකෙස් හොඳින් පවත්වාගෙන යාමට දිනපතා ස්නානය කිරීම ඉතා වැදගත්. ස්නානය කරන විට සෞම්‍ය සබන් වර්ගයක් භාවිතා කළ හැකියි.

ස්නානය කර හිස වියැළුණු පසුව සුදුසු තෙල් වර්ගයක් හිස ගැල්වීම හිසකෙස් නිරෝගීව තබා ගැනීමට හේතු වෙයි. ඖෂධීය තෙල් මෙන්ම පොල් තෙල් ද හිස ගැල්විය හැකියි.

එහිදී පිරිසිදු ලෝහ හැන්දක් ගෙන හැන්ද මඳක් රත් කර එයට තෙල් දමා තෙල් මඳක් උණුසුම් වූ පසුව ඇඟිලි තුඩකින් හෝ පුලුන් කැබැල්ලකින් හිස් කබලේ සහ හිස කෙස්වල තෙල් ගෑ යුතුයි. ඉන් පසුව ඇඟිලි තුඩුවලින් මෘදු සම්බාහනයක් හිසට ලබාදිය යුතුයි.

පසුව උණුසුම් තුවායකින් හිස විනාඩි කීපයක් ඔතා තැබිය යුතුයි. එවිට ඉතා හොඳින් හිස් කබලට සහ හිස කෙස්වලට තෙල් උරා ගන්නවා. මෙම සත්කාරය මසකට වරක් හෝ කළ හැකි නම් හිස්හොරිවලින් සහ හිසේ ඇතිවන විවිධ ආබාධවලින් හිස ආරක්ෂා කර ගත හැකියි.

තෙල් ගල්වාගෙන කාර්යාලයට යාමට අකමැති නම් රාත්‍රියේ හිසේ තෙල් ගල්වා පසු දින උදේ ස්නානය කර තෙල් ඉවත් කරගත හැකියි.

ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් මත කළ යුතු හිස කුඩිච්චි දැමීම ශීරෝධාර ප්‍රතිකාර ක්‍රමය වැනි ක්‍රම මඟින් ද නිරෝගී කෙස් කළඹක්, නිරෝගී හිස් කබලක් පවත්වාගත හැකියි.

හිස කුඩිච්චි දැමීම සඳහා ගොටුකොළ, මුකුණුවැන්න, කී කිරිඳිය වැනි ඖෂධීය ශාක වර්ග යොදා ගන්නවා. ආයුර්වේදයේ එන ‘නස්න කර්ම’ මඟින් සෙම ඉවත් කිරීම නිසා හිසට සහ හිසකෙස්වලට විශේෂ සුවයක් ලැබෙනවා.

තලම් කිරීමත් ආයුර්වේදය තුළ හිස කෙස්වලට කරනු ලබන සත්කාරයක්. ඖෂධීය ශාක මගින් දුම් ඇල්ලීම, ඖෂධීය යුෂ හිස ගැල්වීම, නිදන කොට්ටයට සැවැන්දරා මුල්, සුදුලූනු පොතු, සමන් පිච්ච මල්, උළුහාල් ආදිය යෙදීම මගින් ද හිසට සහ හිස කෙස්වලට ප්‍රතිකාර කළ හැකියි.

ශීරෝවස්ථි කිරීම ආයුර්වේදයේ සඳහන් වන හිසට කරනු ලබන තවත් ප්‍රතිකාර ක්‍රමයක්. වෙනිවැල්ගැට සමඟ උළුහාල් තම්බා සකසා ගත් දියරය හිසට දැමීම ඉතා පහසුවෙන් කළ හැකියි. උළුහාල් හිසකෙස්වල නිරෝගී භාවය රැකගැනීමට උපකාරී වන අගනා ඖෂධයක්.

කිසිඳු මුදලක් වැය නොකොට හිස ගැල්වීම සඳහා ඖෂධයක් නිවසේදීම සාදා ගත හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ වෙරළු දළු පමණයි.

හොඳින් අඹරා ගත් වෙරළු දළු පල්පය හිසට දමා විනාඩි 20 ක් පමණ ගත වන තුරු හිඳ ස්නානය කර හිස පිරිසිදු කරගත හැකියි. මෙය පහසුවෙන් ම හිසට කළ හැකි ප්‍රතිකාරයක්. නිවසේදී හිසට කළ හැකි තවත් පුංචි ප්‍රතිකාරයක් මේ.

මේ සඳහා අවශ්‍ය වන්නේ දෙහි ගැට සහ උළුහාල්. උළුහාල් සහ දෙහි ගැට හොඳින් තම්බා ගෙන හොඳින් අඹරා හෝ බ්ලෙන්ඩර් කර ගත හැකියි.

ඉන් පසුව එම තලපය හිස ගැල්විය හැකියි. විනාඩි 20 ක් පමණ ගත වීමෙන් පසුව ස්නානය කිරීමෙන් හිසට සුවදායි සත්කාරයක් ලැබෙනු නොඅනුමානයි.

අකලට හිස කෙස් පැසීම අද බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටලුවක්. අකලට හිස කෙස් සුදු වීම ලෙස හඳුන්වන්නේ වයස අවුරුදු 35 ට පමණ අඩු පුද්ගලයන්ගේ හිස කෙස් සුදු පැහැවීමයි.

වර්තමානයේ දී වයස අවුරුදු 10 - 12 වයසේ පසුවන දරු දැරියන්ගේ ද හිස කෙස් සුදු පැහැ ගැන්වී ඇති ආකාරය දැක ගත හැකියි. ආරෙට යාම, හිසේ ඇති යම් යම් ආබාධ, හිස කෙස්වලට පෝෂණය මද වීම වැනි හේතූ නිසාත් අකලට හිස කෙස් සුදු පැහැ විය හැකියි.

එවැනි අවස්ථාවල ඉහතින් දැක්වූ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම කළ යුතුයි. එමෙන්ම අකලට සුදු පැහැ වූ කෙස් කළු පැහැ ගැන්වීම සඳහා පහත ප්‍රතිකාරය කළ හැකි බව ආයුර්වේදයේ දැක්වෙනවා.

ඒ සඳහා පළමුව කටුකරඬු, වැටකෙයා අරළු, අංකෙන්ද කොළ පවනේ වේලා කොටා කුඩු සාදා ගන්න. එමෙන්ම අරළු, බුළු, නෙල්ලි කශාය සිඳ ගන්න. සාදා ගත් ඖෂධීය කුඩු අරළු බුළු නෙල්ලි කශාය සමඟ මිශ්‍ර කර තල තෙල් ස්වල්පයක් දමා හොඳින් රත් කර එය මාසයක් පමණ පොළොවේ වළලා තැබිය යුතුයි.

පසුව එම ඖෂධීය සංයෝගය අකලට ඉදුණු හිස කෙස්වල සහ හිස් කබලේ ගැල්වීමෙන් හිසකෙස් සුදු වීම වළක්වා ගත හැකි වන අතර සුදු කෙස් ද කළු පැහැ ගැන්වේ. එමෙන් ම විශ්ණුක්‍රාන්ති මල් එඬරු තෙල් සමඟ මිශ්‍ර කර සිඳ හිස ගැල්වීම මඟින් හිසකෙස් අකලට සුදු වීම වළක්වා ගත හැකියි.

හිස කෙස්වලට කරනු ලබන විවිධ අනවශ්‍ය ක්‍රියා නිසා හිස කෙස් විනාශයට පත්වන අවස්ථා ද තිබෙනවා. බොහෝ තරුණ පිරිස් හිස කෙස්වලට ජෙල් යොදන්නේ ජලය සමග මිශ්‍ර කිරීමෙන්. එවිට හිස් කබලේ ජලය රැඳෙනවා.

හිස් කබල මත හිස් හොරි වැනි විවිධ පුස් වර්ග දිලීර වර්ග ඇතිවීමට එය ප්‍රබල හේතුවක්. මෙහිදී ජෙල් වෙනුවට එඬරු තෙල් භාවිතා කළ හැකියි. එඬරු තෙල් දුගඳක් නැති ඖෂධීය තෙලක් මෙන් ම හිස කෙස් හැඩට තබා ගැනීමට උපකාරී වන ද්‍රව්‍යයක්.

දිනපතා අමු නෙල්ලි ගෙඩියක් ආහාරයට ගැනීමත් දිනපතා යෝගට් එකක් ආහාරයට ගැනීමත් හිස කෙස් නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙනවා. යෝගට්වල හිස කෙස්වලට පෝෂණය ලබා දෙන ද්‍රව්‍ය කීපයක් ම අඩංගුයි.

අගනා ඖෂධීය තෙලක් වන ‘නීල්‍යාදී තෛලය’ දිනපතා හිස ගැල්වීමෙන් හිස් හොරි සම්පූර්ණයෙන් ම ඉවත් කර ගත හැකියි. පුලුන් කැබැල්ලකට නීල්‍යාදී තෙල් බිංදු කීපයක් ගෙන වැඩියෙන් හිස් හොරි ඇති ස්ථානවල ඇතිල්ලීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.

බොහෝ දෙනෙක් හිස පීරන්නේ කොහෝ හෝ ගමනක් යාමට සූදානම් වූ විට පමණයි. එහෙත් අවම වශයෙන් දිනකට හය වතාවක්වත් මෘදුව හිස කෙස් පිරීමෙන් හිස් හොරි නැති වී නිරෝගී කෙස් කළඹක් පවත්වාගෙන යා හැකියි.

හිස පනාවකින් පීරීමෙන් හිස සම්බාහනය වීමක් සිදු වෙනවා. මෙය ඉතා සරල ක්‍රියාවක් ලෙස පෙනී ගියත් ඉතා හොඳ ප්‍රතිඵල ගෙන දෙන ක්‍රියාවක්. ඔබත් මින් පසු ඕනෑම ගමනක් යාමට සූදානම් වන විට හිස පීරා ගෙන යාමට පුරුදු වන්න.

තමන් හිස පීරන පනාව සහ හිස පිස දමන තුවාය පෞද්ගලික ද්‍රව්‍ය සේ සලකා තමන්ම පමණක් භාවිතා කිරීම මඟින් හිස කෙස්වලට වැළඳෙන රෝග බොහොමයකින් වැළකී සිටිය හැකියි.

ගාමිණි සුසන්ත
Link: http://www.silumina.lk/

Facebook Twitter Google

Discuss on Facebook